October 22, 2025

උපකාරක පංතියට කැඳවාගෙන යන බව පවසා 15 හැවිරිදි බාලවයස්කාර දැරියක මුහුදු වෙරළට කැඳවා ගෙන ගිය බව කියන 48 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු කළුතර වත්තමුල්ල පාරේ, සුනාමි නිවාසවල පදිංචි අයෙකි.

මෙම දැරියගේ පියා විදේශගතව සිටින බවත් පොලිසිය කියයි.

තමා 20 වැනිදා දහවල් 1.45 ට පමණ උපකාරක පංතියකට සහභාගිවීම සඳහා පා ගමනින් යමින් සිටින විට තම නිවැසියන් නිතර ගමන් බිමන් යන ත්‍රිරෝද රථය තමා අසල නවතා “පංතියට ඇරලවන්නම්” කියා තමා නංවා ගත් බව එම දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඉන්පසු ඔහුගේ පවුලේ අය කටුකුරුන්ද අවානි හෝටලය අසල මුහුදු වෙරළේ සිටින බවත් ඔවුන් ද නංවාගෙන ඇවිත් පංතියට ඇරලවන්නම් යැයි කී ඔහු තමා කැඳවාගෙන ගොස් වෙරළේ පඳුරක් අසල නවතා “ටික වේලාවක් මෙහෙම ඉඳිමු” කියා අතින් අල්ලා ගත් බවත් එවිට තමා බියවී කෑ ගැසූ බවත් ඇය පොලිසියට කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

තම කෑ ගැසීමෙන් බියට පත්වූ ඔහු ත්‍රිරෝද රථය පණගන්වා ගෙන ඒමට සැරසෙන විට ඒ අසල සිටි පිරිස ත්‍රිරෝද රථය නතර කර තමාවත් අදාළ සැකකරුත් පොලිස් නිලධාරීන්ට භාර දුන් බවත් ඇය ප්‍රකාශ කර ඇත.

දැරිය විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.