September 17, 2025

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය 2025 නවතම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 97 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.

එම දර්ශකය 2025 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කර තිබේ.

මෙම වසර මුලදී, ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කළ අතර, 96 වැනි ස්ථානයේ සිට 91 වැනි ස්ථානය දක්වා ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබිණි.

කෙසේවෙතත්, නවතම යාවත්කාලීන කිරීමේදී, ශ්‍රී ලංකාව 2024 සිටි ස්ථානයට වඩා එක් ස්ථානයක් පසුපසට යමින් 97 වැනිස්ථානයට පහත වැටී ඇත .

ඒ මීට පෙර ගමනාන්ත 42ට සාපේක්ෂව වීසා රහිත ලකුණු 41ක් සමඟය.

මුළු ශ්‍රේණිගත කිරීම් 105ක් අතරින් ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 97 වැනි ස්ථානය ඉරානය සමඟ බෙදා ගනී.

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලොව පුරා විදේශ ගමන් බලපත්‍ර ඇගයීමට ලක් කරන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය හැකි ගමනාන්ත ගණන මතය.

එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය ද ජූලි ශ්‍රේණිගත කිරීමෙන් ස්ථාන දෙකක් පහත වැටී 12 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය දර්ශකයේ වසර 20ක ඉතිහාසයේ සිය පහළම ස්ථානය සනිටුහන් කරයි.

සිංගප්පූරුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස ඉහළම ස්ථානය දිගටම පවත්වා ගෙන යන අතර, දකුණු කොරියාව සහ ජපානය ඉන්පසු පිළිවෙළින් පසුවේ.

දර්ශකයේ අනෙක් කෙළවරේ, ඇෆ්ගනිස්ථානය පහළම ස්ථානයේ රැඳී සිටී.

ගෝලීය සංචලනයේ වඩාත්ම බලයලත් ශ්‍රේණිගත කිරීම ලෙස පුළුල් වශයෙන් පිළිගත් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය, ගමනාන්ත 227කට අදාළව විදේශ ගමන් බලපත්‍ර 199ක් තක්සේරු කරයි.

දශක දෙකක ඓතිහාසික දත්ත සහ අඛණ්ඩ විශේෂඥ විශ්ලේෂණයන් සමඟ, එය රජයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ගෝලීය පුරවැසියන් සඳහා ප්‍රධාන සේවයක් ඉටු කරයි.