November 1, 2025

ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 38.7ක් පමණක් වත්මන් රජය දූෂණයට එරෙහිව සටන් කරනු ඇතැයි විශ්වාස කරන බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

යුරෝපීය සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය එක්ව අරමුදල් සපයන ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ආයතනය විසින් පවත්වන ලද සංහිඳියාව, වගවීමේ පාලනය සහ ක්‍රියාකාරී පුරවැසිභාවය පිළිබඳ ‘ශ්‍රී ලංකා බැරෝමීටරය’ ජාතික මහජන මත සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ වත්මන් රජය දූෂණයට එරෙහිව සටන් කිරීමේදී ඵලදායී වනු ඇතැයි සියයට 38.7ක් විශ්වාස කරන බවයි.

එසේම, පසුගිය රජයන් දූෂණයට එරෙහිව සටන් කිරීමේදී ඵලදායී වූ බව විශ්වාස කරන්නේ සියයට 12.5ක් පමණක් බව සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

සමීක්ෂණයට අනුව, සංහිඳියාව යන්නෙහි අර්ථය කණ්ඩායම් අතර එකමුතුව සහ ධනාත්මක සබඳතා ලෙස සියයට 48.5ක් තේරුම් ගෙන ඇත.

සංහිඳියාව පිළිබඳ විෂය ගැන සඳහන් කරමින්, ව්‍යාපෘතියේ සමාප්තිය සනිටුහන් කිරීම සඳහා පැවති උත්සවයකදී අදහස් දක්වමින් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් පැවසුවේ සංහිඳියාව ක්‍රියාවලිය සාර්ථක වීමට නිවැරදි තොරතුරු අත්‍යවශ්‍ය බවයි.

“වැරදි තොරතුරු සංහිඳියාව විනාශ කරනවා. එසේම, සංහිඳියාව සහතික කිරීමේදී තෙවැනි පාර්ශවීය තොරතුරු මත විශ්වාසය තැබිය නොහැකියි,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආයතන, ප්‍රජාවන් සහ පුද්ගලයන් අතර පාලම් ගොඩනැගීමට උපකාර කිරීමේදී සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ආයතනයේ කාර්යභාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපීය සංගමයේ තානාපති කාමන් මොරෙනෝ ප්‍රශංසා කළේය.

“සමාජ සහජීවනය ශක්තිමත් කිරීම සඳහා මෙම උත්සාහයට සහාය දැක්වීම ගැන යුරෝපීය සංගමය ආඩම්බර වනවා. ශ්‍රී ලංකාව සිය ගමන අඛණ්ඩව කරගෙන යන විට, සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ආයතනය හරහා ගොඩනඟා ගත් පාඩම් සහ හවුල්කාරිත්වයන් කල් පවතින දායකත්වයක් ලෙස පවතිනු ඇති,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමන් පැවසුවේ ජර්මනිය විවෘත සංවාදය, සංහිඳියාව සහ අතීතයෙන් ඉගෙනීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බවයි.