January 22, 2026

2025 දෙසැම්බර් මාසයේදී මෙරටදී වාහන 48,525ක් ලියාපදිංචි කර ඇති අතර නොවැම්බර් මාසයේදී එම සංඛ්‍යාව 43,810 ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව ඉකුත් වසර අවසානයේදී මෙරට තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, වසර පහක විරාමයකින් පසු ආනයන නැවත විවෘත කළ පළමු වසර තුළ සම්පූර්ණ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 360,117 දක්වා ඉහළ ගොස් ඇත.

දෙසැම්බර් මාසයේදී ලියාපදිංචි කළ මෝටර් රථවලින් 1,150ක් නවතම මෝටර් රථ ලියාපදිංචි කිරීම් වූ අතර, නොවැම්බර් මාසයේදී එම සංඛ්‍යාව වාර්තා වූයේ 781ක් ලෙසය.

එමෙන්ම දෙසැම්බර් මාසයේදී ලියාපදිංචි කර ඇති නවතම මෝටර් රථ අතරින් වැඩිම සංඛ්‍යාව BYD වර්ගයේ විදුලි වාහන වන අතර එම සංඛ්‍යාව 408 කි.

BAW වර්ගයේ මෝටර් රථ 283 ක් ද එම මාසයේදී ලියාපදිංචි කර තිබේ.

මේ අතර දෙසැම්බර් මාසයේදී ලියාපදිංචි කර ඇති වාහනවලින් 3,220ක් විදුලි වාහන වන අතර එම සංඛ්‍යාව නොවැම්බර් මාසයේදී ඒකක 3,158ක් ලෙස වාර්තා විය.

විශ්ලේෂකයින් පවසන්නේ, මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ විදුලි වාහන මුල්වරට ආනයනයේදී ඒවා මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් සතුව පැවැති උනන්දුව මේ වනවිට අඩුවෙමින් පවතින බවයි.

මේ අතර, ත්‍රිරෝද රථ 3,007ක් ද ඉකුත් දෙසැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි කර තිබේ.

එම මාසයේදී යතුරු පැදි 30,415ක් ලියාපදිංචි කර තිබූ අතර එය නොවැම්බර් මාසයේදී ඒකක 29,961ක් ලෙස සටහන් විය.