May 23, 2025

ශ්‍රී ලංකාව තුළ හෙද සේවයට අලුතින් බඳවාගන්නා ලද විශාලතම හෙද නිලධාරීන් කණ්ඩායමට හෙට (24) නිල වශයෙන් පත්වීම් පිරිනැමෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හෙද සේවයට අලුතින් බඳවා ගන්නා ලද 3,147 දෙනකු සඳහා පත්වීම් ලිපි පිරිනැමීම හෙට (24) පෙ.ව. 9:30 ට අරලියගහ මන්දිරයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වීමට නියමිතය.

අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව, මෙතරම් විශාල හෙද හෙදියන් පිරිසක් සඳහා පත්වීම් ලිපි සංඛ්‍යාවක් එකවර නිකුත් කරන පළමු අවස්ථාව මෙය වේ.

මීට අමතරව, හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ සේවය කරන හෙද නිලධාරීන් 79 දෙනකුට උසස්වීම් ප්‍රදානය කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු ද ඊට සහභාගීවීමට නියමිතය.