
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ආසියානු ක්‍රීඩා උලෙළේදී රට අභිමානයට පත්කළ පදක්කම්ලාභීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විධායක කමිටුව විසින් ඇගයීමට ලක්කර තිබේ.
අන්තර්ජාතික වේදිකාවේදී අත්කර දුන් අභිමානය වෙනුවෙන් ඔවුන් අගයන උත්සවය ඊයේ සවස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණි.
ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනෙකු පිළිගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න , භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද , වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන පිරිසගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උපදේශකත්වය සහ සංවර්ධනය පිළිබඳ උපදේශකවරිය ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහද විශ්‍රාමික ක්‍රීඩිකාවන් සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සභික කිත්සිරි ද සිල්වා, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර යන පිරිසද සහභාගි වී සිටියහ.
2023 ආසියානු ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම් දිනමින් රටට ආඩම්බරයක් ගෙනදුන් ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න, රිදී පදක්කම්ලාභී නදීෂා දිල්හානි ලේකම්ගේ ඇතුළු ක්‍රීඩිකාවන් 09 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්කර මුදල් ත්‍යාග ප්‍රදානය කෙරිණි.
තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සහ නදීෂා දිල්හානි ලේකම්ගේගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත යන දෙදෙනාද මෙහිදී ඇගයීමට ලක් විය.
රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න හට රු.මිලියන 10 ක් සහ ඇයගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් තවත් රු. රුපියල් මිලියනයක් ද, රිදී පදක්කම්ලාභී නදීෂා දිල්හානි ලේකම්ගේට රුපියල් මිලියන 5ක මුදලක්ද පිරිනැමිණි.
මේ අතර පසිඳු කොඩිකාර, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා, සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද රුපියල් මිලියනය බැගින් ප්‍රදානය කෙරුණේ රට වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනාදීම වෙනුවෙනි.
පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ 20ක මුදල් ත්‍යාගයක් ද ප්‍රදීප් නිශාන්තට රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණි.
මෙම මුලපිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ කොටසකි.
මේ අතර, 2023 ආසියානු ක්‍රීඩා උලෙළේදී රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උපහාර පිරිනැමීමට විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart