
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ‘දැයට කිරුළ’ වැඩසටහන ඇතුළු වැඩසටහන් කීපයක් මඟින් ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දමා ඇති ගොඩනැඟිලි සංකීර්ණ පහක් වෙනුවෙන් රුපියල් මිලියන 1818කට අධික මුදලක් වැයකර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මාතරදී ඉකුත් 11 වැනිදා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.
මෙම ගොඩනැඟිලි අතර, ඇතැම් ඒවා නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර, ඉන් එක් ගොඩනැඟිල්ලක් පුරාවිද්‍යා භූමියක නිධානයක් ඇති ස්ථානයක පොළොව හාරා බිම් මහලක් ද සහිතව ඉදිකර ඇතැයි ද එහිදී හෙළිවිණි.
‘දැයට කිරුළ’ වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම මත මාතර කොටවිල ප්‍රදේශයේ 2015 දී ඉදිකරන ලද මාතර දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයට රුපියල් මිලියන 50ක් පමණ වියදම් කර තිබිණි. අද එය භාවිතයට ගත නොහැකි ලෙසින් අබලන්ව ඇති බවත් ඒ සඳහා එම සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවිණි.
එම ගොඩනැඟිල්ල සඳහා මුල් ඇස්තමේන්තුව ලෙස රුපියල් මිලියන 2000ක් නිර්දේශවී තිබී ඇති බව ද වාර්තා විය. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත මාතර නාවිමන ප්‍රදේශයේ ඉදිකර ඇති සාක් සංස්කෘතික මධ්‍යස්ථානය ද මේ වනවිට ඉදිකිරීම් අතහැර දමා ඇත. ඒ සඳහා මෙතෙක් වැයකර ඇති මුදල රුපියල් මිලියන 1600ක් බව එහිදී අනාවරණය විය.
මෙම ගොඩනැඟිලි පද්ධතිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයකට පැවරීමට උත්සාහ දරා ඇතත් දැරිය නොහැකි වැය බරක් සිදුවිය හැකි බැවින් හා නඩත්තු කටයුතු කළ නොහැකි බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයි ද කියයි.
එමෙන්ම එම ගොඩනැඟිල්ලට යුද හමුදා ආරක්ෂාව ඇතත් එහි යකඩ පලංචි හා කොන්ක්‍රීට් කම්බි දිරාපත් වී ඇති බවත් සොරුන් එහි කම්බි ඇතුළු බොහෝ දේ සොරකම් කර ඇති බවටත් නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වෙයි.
හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් 2015 වසරේදී එම ප්‍රදේශයේ ඉදිකර ඇති තෙමහල් හා සිවු මහල් ගොඩනැඟිලි මේ වනවිට අතහැර දමා ඇති අතර මුල් ඇස්තමේන්තුවෙන් ඒ සඳහා රුපියල් මිලියන 100ක් වියදම් කර ඇතැයි ද අනාවරණය විය.
නැවත වියදමක් දරා ගොඩනැඟිය හැකි මට්ටමේ පවතින මෙම ගොඩනැඟිලි ඉදිකර ඇති භූමිය ඕලන්ද යුගයේ කොටුව පැවතීම හේතුවෙන් පුරාවිද්‍යා භූමියක්ව පැවත ඇති බව හා එහි නිධානයක් ඇති බවට පැතිර ගිය කතා ඔස්සේ එක් ගොඩනැඟිල්ලක කොටසක් පොළව යට හාරා ඉදිකර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
දෙනියාය ප්‍රදේශයේ රුපියල් මිලියන 122ක මුල් ඇස්තමේන්තුව මත ඉදිකරන ලද යොවුන් සේනාංක මධ්‍යස්ථානය මේ වනවිට ඉදිකිරීම් අතහැර දමා ඇති බව ද 2018 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම ගොඩනැඟිල්ලේ සියලු ඉදිකිරීම් කටයුතු යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකව තිබී ඇති බව ද වාර්තා විණි.
අතහැර දමන ලද තවත් ඉදිකිරීමක් බවට අනාවරණය වූයේ අකුරැස්ස මාරඹ ළමා රැඳවුම් මධ්‍යස්ථානයයි. 2018 වසරේදී රුපියල් මිලියන 122 මුල් ඇස්තමේන්තුව මත ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සඳහා මෙතෙක් සිදුකර ඇති ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 68ක් වැය කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ මෙම ගොඩනැඟිලි පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එය තවදුරටත් කල් නොහරින ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart