June 27, 2025

මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් විසින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගික අධිකාරිය මගින් එම ආයතනය වටළා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක දඩ මුදලක් ගෙවීමට අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා නියම කර ඇත.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාරගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් සමඟ එක්ව ඉකුත් අප්‍රේල් 29 වැනි දින සිදුකරන ලද වැටළීමකින් අනතුරුව එම පෞද්ගලික ආයතනයට එරෙහිව නඩු පවරා තිබේ.

අංක 243/15 හා 2025.04.01 දින දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද අංක 93 දරන නියෝගය මගින් කිසිම නිෂ්පාදකයෙක්, අසුරන්නෙක්, වෙළෙන්දෙක් හෝ බෙදාහරින්නෙක් විසින් දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලි. 500, මි.ලි. 999 පොලි එලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70 කට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියම කර තිබියදී මෙම ආයතනය විසින් දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලී. 500 ප්‍රමාණයේ බෝතලයක් ඉහත නියෝගයේ සඳහන් මිලට වඩා වැඩි මිලට එනම් රු. 90,00 කට මුදලකට අලෙවි කර ඇත.

මේ පිළිබඳව ලද තොරතුරට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරි එස්.පී. පුංචිහේවා උපාය දූතයකු ලෙස එම ස්ථානයට ගොස් වැඩි මිලට අලෙවි කරමින් තිබූ පානීය ජල බෝතල් මිලයට ගෙන තිබේ.

එම චෝදනාව සම්බන්ධයෙන් කරුණු වටහාදීමෙන්, වරද පිළිගත් මෙම ව්‍යාපාරික ආයතනයට එරෙහිව මෙසේ නඩු පවරා තිබූ අතර, ඒ අනුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩී. සිල්වා ඉකුත් (26) දින රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කළේය.