March 30, 2023

2030 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම, බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් ස්වාධීන වීම සහ 2050 වන විට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයට පත් වීම රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

එම ඉලක්කයට ළඟා වීම අරමුණු කර ගනිමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් විසින් ඒකාබද්ධව උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ඇතුළුව ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථානවල සූර්ය බලශක්තිය, වෙරළබඩ සුළං ඇතුළු සුළං භාවිතයෙන් බලශක්ති උත්පාදනය හා ජෛව ස්කන්ධ ආශ්‍රිත බලශක්ති උත්පාදන ව්‍යාපෘති හා සම්ප්‍රේශණ යටිතල පහසුකම් ඒකාබද්ධව සිදු කිරීම සහ පහසු කිරීම මඟින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉන්දීය ජනරජයේ රජය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, ඉන්දීය ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.