November 14, 2025

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා පාකිස්තානයේ සිය සංචාරය අආරම්භ කළේ තරග තුනකින් යුතු එක්දින තරග්වලියකට සහ සිම්බාබ්වේ කණ්ඩායමද සහභාගී වන තුන්කොන් තරගාවලියක් වෙනුවෙනි. කෙසේවෙතත් මෙම සංචාරය ඉතාම ඉක්මණින් රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් දක්වා ගමන් කරන අයුරු දැකගත හැකිවිය. පසුගිය නොවැම්බර් 10වැනිදා ශ්‍රී ලංකාව සන පාකිස්ථානය අතර පළමු එක්දින තරඟයට පැය කිහිපයකට පෙර ඉස්ලාමාබාද්හි සිදු වූ මාරාන්තික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනකු මියයෑම විසින් සියලුදෙනාම කම්පනය කෙරිණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකු සංචාරය අතහැර දමා සියරට ඒමට දැනුම්දී තිබුණු බව වාර්තා වූ නමුත්, ඔවුන් කන්දයමින් ඉවත් වුවහොත් විනය සමාලෝචනයක් සිදුවන බවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ට අඛණ්ඩව පාකිස්තානයේ රැඳීසිටින ලෙස උපදෙස් දුන්නේය.

පාකිස්ථානයේදී ක්‍රිකට් සංචාර අතර සිදුවන ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් පවතින බිය කාලයක පටන් පවතින්නකි. 2009 ලාහෝර් ප්‍රහාරය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ට කිසිදා අමතක නොවන්නකි. එය අන්තර්ජාතික ක්‍රිකට් සදහටම වෙනස් කළ දිනයකි. එම වසරේ මාර්තු 3 වැනි දින, පාකිස්තානයට එරෙහි තුන්වන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස් රථය ගඩාෆි ක්‍රීඩාංගණයට ළඟාවන අතරතුර, AK-47 අවි, ග්‍රෙනේඩ් සහ රොකට් විදිනයන් අතැති සන්නද්ධ සටන්කාමීන් දොළොස්දෙනෙකු විසින් සැඟවී සිට කණ්ඩායමට පහරදෙන ලදී. මෙම බිහිසුණු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හයදෙනෙකු තුවාල ලැබූ අතර, පාකිස්ථාන පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු එහිදී මියගියේය. මෙම ප්‍රහාරයෙන් ක්‍රිකට් ලෝකය මවිතයට පත්විය. ඉන් අනතුරුව, දශකයකට ආසන්න කාලයක් සත්කාරක රටක් ලෙස පාකිස්තානය ප්‍රතික්ෂේප කරන ලද අතර, අඛණ්ඩව පැවැති ආරක්ෂක බිය හේතුවෙන් විදේශීය කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළහ.

වසර දහසයකට පසු, ලාහෝර්හි මෙම අවතාර නැවත මතු වී ඇති බව පෙනේ. පාකිස්තානය සිය කීර්තිනාමය නැවත ගොඩනඟා ගැනීමට සහ ගෝලීය ක්‍රිකට් තරගාවලි නැවත සිය රටේ පැවැත්වීමට උත්සාහ කළද, මෑතකාලීන ප්‍රචණ්ඩත්වයේ වැඩිවීම රට තුළ ආරක්ෂාව පිළිබඳ සැකයන් නැවත ඇතිකර තිබේ. ආර්ථික විද්‍යාව හා සාමය සඳහා වූ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව, 2025 දී පාකිස්තානය ලෝකයේ දෙවැනි වඩාත්ම ත්‍රස්තවාදී බලපෑමට ලක් වූ රට බවට පත්විය. 2024 දී ත්‍රස්තවාදයට සම්බන්ධ මරණ 45% කින් ඉහළ ගොස් ඇති අතර, 2023 දී 517ක් වූ ප්‍රහාර සංඛ්‍යාව 2024 දී 1,099 දක්වා දෙගුණයකටත් වඩා වැඩිවිය. මෙම සිදුවීම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයකට ටෙහ්රික්-ඊ-තලේබාන් පාකිස්තාන් (TTP) නම් සංවිධානය වගකිව යුතු අතර, ජීවිත 558ක් අහිමි කළ ප්‍රහාර 482ක්ම එම සංවිධානය සිදුකර ඇති බවට චෝදනා එල්ල වේ. එය පෙර වසරට වඩා 91% ක විස්මයජනක වැඩිවීමකි.

මේ අතර, බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා දේශසීමා ප්‍රදේශවල ගැටුම් අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර එය පාකිස්තානයේ අභ්‍යන්තර අස්ථාවරත්වයට හේතුවී තිබේ.. බෝම්බ ප්‍රහාර, ඉලක්කගත ඝාතන සහ කඩාකප්පල්කාරී මෙහෙයුම් කනස්සල්ලට කරුණක් ලෙස නිතර නිතර සිදු වී ඇත. මෙම අස්ථාවර පරිසරය තුළ, වඩාත් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පවා එරටට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවතින තර්ජනවලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ නොහැක. පළමු එක්දින තරඟය පැවැත්වූ ක්‍රීඩා පිටියේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් සිදුවූ ඉස්ලාමාබාද් පිපිරීම, ආරක්ෂක සහතික කෙතරම් බිඳෙනසුලුද යන්න අවධාරණය කරයි.

ක්‍රිකට් ක්‍රීඩාව දිගු කලක් තිස්සේ ජාතීන් අතර පාලමක් වී ඇත. එහෙත් කිසිදු ක්‍රීඩා අභිලාෂයක් මිනිස් ජීවිත බිලිගත යුතු නොවේ. එවැනි තත්වයන් යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විචක්ෂණශීලීව සහ වගකීමෙන් ක්‍රියා කළයුතුය. ස්වාධීන, විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන ආරක්ෂක තක්සේරු කිරීම් හරහා ක්‍රීඩක ආරක්ෂාවට ප්‍රමුඛත්වය දියයුතු අතර ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පවුල් සමඟ විනිවිද පෙනෙන සන්නිවේදනයක් පවත්වාගත යුතුය. සෑම ක්‍රීඩකයකුටම අනාරක්ෂිත බවක් දැනේ නම්, වහාම ඉවත්වීමට කිසිදු පීඩනයකින් තොරව අයිතියක් තිබිය යුතුය. ඒ සමඟම, තර්ජන උත්සන්න වුවහොත් තරඟ වහාම වෙනස් කරීමට හෝ අත්හිටුවීමට, ආරක්ෂිත ප්‍රවාහන සේවා සහ හදිසි සැලසුම් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සහ අන්තර්ජාතික ආරක්ෂක ආයතන සමඟ සමීපව සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන සංචාරය තරගාවලියකට වඩා වැඩි යමක් බව අමුතුවෙන් කිවයුතු නැත. එය ක්‍රිකට් ක්‍රීඩාව ත්‍රස්තවාදයට ගොදුරු වීමේ අවදානම සහ ඉතිහාසය නොසලකා හැරියහොත් එය නැවත නැවතත් සිදුවිය හැකි ආකාරය පිළිබඳ තියුණු මතක් කිරීමකි. ක්‍රීඩකයන්ගේ ධෛර්යය අගය කළ යුතුය. එහෙත් ඔවුන්ගේ ආරක්ෂාව දෙවැනි තැනට නොදැමිය යුතුය. 2009 ලාහෝර් දෝංකාරය නැවත වරක් ඛේදවාචකයේ ශබ්ද බවට පත්වීමට ඉඩ නොදිය යුතුය.