November 2, 2025

සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී ලබන සිකුරාදා පැවැත්වෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වන මැතිවරණයට අපේක්ෂකයෝ හත් දෙනෙක් තරඟ වදිති.

ඉන් ජය ලබන තැනැත්තා වසර 10ක් ධුරයේ කටයුතු කරනු ඇත.

හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්.බණ්ඩාරනායක, ගාමිණී කළුහැන්දිවෙල, නන්ද මඩුගල්ල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ රොෂාන් ප්‍රියදර්ශන තරඟ වදිති.

මහාචාර්ය සුබසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අනුයුක්තව සිටින අතර කළුහැන්දිවෙල පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇති විද්‍යා උපාධිධාරියෙකි.

මීට පෙර පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ප්‍රියදර්ශන ව්‍යාපාරිකයෙකු වන අතර මඩුගල්ල ශ්‍රී ලංකා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකි.

මෙහිදී, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ 261 දෙනෙකු වන අතර, මල්වතු සහ අස්ගිරිය නිකායන් යටතේ පාලනය වන රජමහා විහාරවල ප්‍රධානාචාර්යවරුන් සහ ගිහි භාරකරුවන් 157 දෙනෙකු මෙන්ම බස්නායක නිළමේවරුන් 29 දෙනෙකු ද ඊට ඇතුළත් වේ.

දෑල බණ්ඩාර පැවසුවේ තම ධුර කාලය තුළ සිදු කරන ලද කාර්යයන් සළකා බැලීමේදී ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් ඇති බවයි.

ඔහු ප්‍රථම වරට තේරී පත් වූයේ 2005 දී වයස අවුරුදු 31කව සිටියදීය.

එම අවස්ථාවේ ඡන්ද 199ක් ලබා ගත් ඔහු 2015 සිට 2025 දක්වා කාලය සඳහා නැවත තේරී පත් විය.

2005 දී, මාලිගාවේ මාසික ආදායම රුපියල් මිලියන 80ක් වූ නමුත්, දැන් එය රුපියල් බිලියන 1 දක්වා වැඩි වී ඇත.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිසි විනිවිද පෙනෙන කළමනාකරණය බව ඔහු පැවසීය.

1964 සිට 1975 දක්වා හිටපු දියවඩන නිළමේවරයෙකු වූ එච්.බී. උඩුරාවණගේ පවුලෙන් පැමිණි දමින්ද බණ්ඩාර උඩුරාවණ, එම තනතුර සඳහා තවත් තරඟකරුවෙකි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන උඩුරාවණ, 2017 දී පස්ගම නාථ දේවාලයේ බස්නායක නිලමේ ලෙස ප්‍රථම වරට තේරී පත් වී 2022 දී නිතරගයෙන් නැවත තේරී පත් වූ අතර, 2023 දී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස පත් කරන ලදී.