December 7, 2025

එළඹෙන බ්‍රහස්පතින්දා (11) දිනයේ වසර දෙකක ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති වත්මන් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් නිල වශයෙන් තවදුරටත් රඳවා නොගැනීම නිසා පාකිස්ථානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා T20 සංචිත තේරීම් පිළිබඳ තමාට තවමත් නිල වශයෙන් අදහස් දැක්විය නොහැකි බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි.

වසර 11කට පසු මෙරටදී T20 ආකෘතියෙන් සංචාරක කණ්ඩායමක් සහභාගී වන පළමු අවස්ථාව මෙය බව ද ඔහු පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනාගත සංචාර වැඩසටහනේ (FTP) කොටසක් නොවන මෙම තරගාවලිය, ලබන මාසයේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දෙක සූදානම වීමේ පියවරක් ලෙස පැවැත්වේ.

2026 ජනවාරි දෙවැනි සතියේ රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත.

අසනීප තත්ත්වයෙන් පෙළෙන නිත්‍ය නායක චරිත් අසලංක වෙනුවට පත් කළ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පාකිස්ථානයට එරෙහිව එළඹෙන තරගාවලිය සඳහා රඳවා ගත හැකිද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකට තරංග පැවසුවේ, ඔහුගේ තේරීම් කමිටුව තවමත් අවිනිශ්චිත බැවින් මේ පිළිබඳ අදහස් දැක්වීමට නොහැකි බවයි.

“මේ අවස්ථාවේදී අපගේ ස්ථාවරය නොදැන, මට අදහස් දැක්විය නොහැකියි,” යනුවෙන් ඔහු පවසා තිබේ.

“අපට යම් දිගුවක් ලබා දෙනවද නැද්ද යන්න පිළිබඳ තීරණය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයා සතුයි, ඒ නිසා ඔහු අපට දන්වන තුරු, මට තවදුරටත් අදහස් දැක්විය නොහැකියි.” යැයි ඔහු පැවසීය.

පාකිස්ථාන තරගාවලියට පෙර තේරීම් කිරීමට තවමත් කාලය ඇති බැවින්, නායකත්වය සහ අදාළ කරුණු සම්බන්ධයෙන් ස්ථිර තීරණ ගැනීම සුදුසු නොවන බව තරංග පැවසීය.

මෑතකදී පාකිස්ථානයේ දී අවසන් වූ T20I තුන්කොන් තරගාවලිය සඳහා අසලංක අසනීප වී නොපැමිණීම නිසා T20 කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස ශානක පත් කරන ලදී.

එහිදී ශ්‍රී ලංකාව අනුශූරතාව ලබා ගැනීමට සමත් විය.

තරංගගේ නායකත්වයෙන් යුත් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් අතර හිටපු ක්‍රීඩකයන් වන අජන්ත මෙන්ඩිස්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන ඇතුළත් වන අතර, මුල් සාමාජික දිල්රුවන් පෙරේරා ටික කලකට පසු ඉල්ලා අස්වී පූර්ණ කාලීන පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය.

පාකිස්ථානයට එරෙහි තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව එක්දින අන්තර්ජාතික තරග තුනක් සහ T20 තරග තුනකින් සමන්විත සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතය.