November 14, 2025

ලෝක ප්‍රකට සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ තරගය අතරතුර ඔහු සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙනි.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, අන්තර්ජාතික පාපන්දු පිටියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව එය බවයි.

යුරෝපා කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ අයර්ලන්තය සහ පෘතුගාලය අතර තරගය ඊයේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැත්විණි.

මෙම තරගයේ 61 වැනි මිනිත්තුවේදී අයර්ලන්ත දඬුවම් සීමාව තුළදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අයර්ලන්ත ක්‍රීඩකයෙක්ට වැලමිටෙන් පහරදීම ඔහුට රතු කාඩ් පතක් නිකුත් කිරීමට හේතුවිය.

එය පාපන්දු නීතිවලට අනුව විනය විරෝධී ක්‍රියාවක් වන අතර විනිසුරුවරයා පළමුව රොනාල්ඩෝට කහ කාඩ්පතක් ලබා දී තිබිණි.

එහෙත් පසුව රූපවාහිනී විනිසුරුගෙන් සිදුකළ විමසීමෙන් අනතුරුව රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබා දී තිබූ අතර, ඒ හමුවේ රොනාල්ඩෝට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

අන්තර්ජාතික පාපන්දු නීතිවලට අනුව රොනාල්ඩෝට ලැබුණු රතු කාඩ්පත හේතුවෙන් ඔහුට තවත් තරග 3ක් ක්‍රීඩා කිරීම තහනම් වේ.

ඒ අනුව පෘතුගාලය තවත් එක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර යම් හෙයකින් පෘතුගාලය සෘජුව 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත් ඔහුට පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ පළමු තරග දෙක අහිමිවීමේ අවදානමක් පවතී.