December 9, 2025

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ඇස්තමේන්තුගත මිලියන 2.3 ක ජනතාවක් ජීවත් වූ බවත්, ඔවුන්ගෙන් අඩකට වඩා කාන්තාවන් බවත් නවතම විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ එම නව භූගෝලීය විශ්ලේෂණයෙන් පෙනීයන්නේ සුළිකුණාටුවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් රටේ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 1.1 කට වඩා එනම් රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 20 ක් පමණ ජලයෙන් යට වූ අතර නිවාස, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි.

ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ජනතාවගෙන් අඩකට වඩා ජීවත් වූයේ ස්ථිර ආදායමක් නොමැති, ඉහළ ණය බර සහ ආපදාවන්ට මුහුණ දීමට ඇති සීමිත හැකියාව ඇතුළු සුළිකුණාටුවට පෙර බහු අවදානම්වලට මුහුණ දී සිටින නිවාසවලය. මෙම තත්වයන් යටතේ, මධ්‍යස්ථ කම්පනකාරී තත්වයන් පවා දිගුකාලීන පසුබෑමක් බවට පත්විය හැකිය.

ගංවතුර හමුවේ ගලා ආ ජලය ගොඩනැගිලි 720,000 කට ආසන්න සංඛ්‍යාවකට හානිකර ඇති අතර එය රටේ සෑම ගොඩනැගිලි දොළහකින් එකක් පමණ බව පැවසේ.

විශ්ලේෂණයට අනුව මෙරට වෙරළ තීරය දොළොස් වතාවකට වඩා වට කිරීමට ප්‍රමාණවත් කිලෝමීටර් 16,000 කට වඩා වැඩි මාර්ග ප්‍රමාණයක් ගංවතුරට හසුව තිබේ. ඒ හා සමානව, කිලෝමීටර් 278 කට වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480 ක් ගංවතුරින් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල පිහිටා තිබිණි.

ජල ගැලීම් හමුවේ බලපෑමට ලක් වූ ජනගහනයට ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 1.2 ක්, ළමුන් 522,000 ක් සහ වැඩිහිටියන් 263,000 ක් ඇතුළත් වන අතර එලෙස බලපෑමට ලක්වූ පුද්ගලයන්ගෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්ක දෙකක (කොළඹ සහ ගම්පහ) පමණක් ජීවත් වේ.

රට පුරා බලපෑමට ලක් වූ ප්‍රදේශවල බොහෝදෙනෙකු අධිඅවදානම් හෝ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන අතර ඔවුන්ගේ වාසස්ථාන සඳහා ස්ථිර විසඳුමක් අවශ්‍ය වේ. මෙම තත්වයට අත්‍යවශ්‍ය සේවාවන් මත දැඩි පීඩනයක් ඇති කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැඩිදුරටත් පෙන්වාදෙයි.