May 14, 2025

මෙරට ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවෙසට ඇතුළු වී එහි සේප්පුවක තිබූ ඇගේ පියාගේ සහ ඇගේ මංගල මුදු දෙක ඇතුළු රන් ආභරණ පැහැරගත් එම නිල නිවෙසේම ආරක්ෂක කටයුතුවල නිරත පෞද්ගලික ආරක්ෂක ස්ථානාධිපතිවරයා හා තවත් ආරක්ෂක නිලධාරියකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු එම සේප්පුව විවර කිරීම සඳහා යතුරක් කැපූ කොම්පඤ්ඤවීදිය පොලිසියේ යතුරු කපන්නකුද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

තානාපතිනියගේ නිවෙසේ සේප්පුවෙන් සොරාගන්නා ලද ඇගේ පියාගේ සහ ඇගේ මංගල මුදු දෙක සැකකාර ආරක්ෂක නිලධාරියා පදිංචි ඔහුගේ වැලිගම නිවෙසේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

ස්විට්සර්ලන්ත තානාපතිනිය ඉකුත් 12 වැනිදා ස්විට්සර්ලන්තය බලා පිටව යෑමෙන් පසු මෙම ආරක්ෂක නිලධාරීන් විසින් ඇගේ සේප්පුව වෙනත් යතුරකින් විවර කර එහි තිබූ මුදු ඇතුළු රන් ආභරණ සොරාගෙන ගොස් තිබේ.

තානාපතිනිය නිවෙසේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භටයන්ද යොදවා තිබියදී මෙම සැකකරුවන් ඉතාම සූක්ෂ්ම ලෙස මෙම සොරකම සිදුකර ඇත.

කොල්ලුපිටිය පොලිසිය තානාපතිනියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන අරඹා දින 10ක් ඇතුළත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තානාපතිනියගේ නිල නිවෙසේ සේවිකාවන් ලෙස රාජකාරී කරන සේවිකාවන් දෙදෙනකුගෙන් මෙන්ම තානාපතිනි නිල නිවෙසේ අරක්කැමියාගෙන්ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර පසුව ඔවුන් සිදුවීමට කිසිසේත් සම්බන්ධ නැති බව අනාවරණය වීමෙන් පසු ඔවුන් මුදාහැර තිබේ.

සැකකරුවන් තිදෙනා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.