November 2, 2025

කලක් ‘වතු දෙමළ’ හෝ ‘මෑත කාලීන ඉන්දියානු සම්භවයක් ඇති’ ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවේ මලෙයියහ දෙමළ ජනගහනය 830,000 පමණ සිට 600,000 පමණ දක්වා අඩු වී ඇති බව 2024 සංගණනයෙන් පෙනීගොස් තිබේ.

ඔවුන්ගෙන් අඩක් පමණ නැතහොත් 300,000ට වඩා තරමක් වැඩි ගණනක් නුවරඑළියේ සිටින බව 2024 ජනගහන හා නිවාස සංගණනයේ දත්ත පෙන්වා දෙයි.

රටේ සමස්ත ජනගහනයෙන් මලෙයියහ දෙමළ ජනගහනය 2.8%ක් වන අතර එම ප්‍සංඛ්‍යාව 600,360ක් බව 2024 සංගණනය වාර්තා කරයි.

2012 ජන සංගණනයේ වාර්තා වූ 839,504 සිට මෙම සංඛ්‍යාව පහත වැටී ඇත.

1837 සිට 1939 දක්වා සංක්‍රමණිකයන් ලෙස පැමිණි ශ්‍රී ලංකාවේ මලෙයියහ දෙමළ ජනතාවට වසර 200ක ඉතිහාසයක් ඇත.

1940 වන විට ලියාපදිංචි ඉන්දියානු දෙමළ ඡන්දදායකයන් 225,000ක් සිටි බව රජයේ වාර්තා පෙන්වා දෙයි.

සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම ලෙස හැඳින්වෙන, ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ 2003 අංක 35 දරන පනත දශක ගණනාවකට පසු, ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තෝරා ගත් අයට පුරවැසිභාවය ලබා දුන් අතර තවත් දහස් ගණනක් නැවත ඉන්දියාවට යවන ලදී.

සිංහල ජනගහනයෙන් 38.9%ක් සහ මුස්ලිම් සහ හෝ මුවර් ජනතාව 2.7%ක් හා සසඳන විට, ඉහළ තේ නිෂ්පාදනය කරන වැදගත් දිස්ත්‍රික්කයක් වන නුවරඑළියේ බහුතර ජනගහනය මෙම ප්‍රජාව බව සංගණනයෙන් පෙනී යයි.

නුවරඑළියේ බොහෝ වතු සහ ඔලිෆන්ට්, උඩ රදැල්ල සහ බෲක්සයිඩ් වැනි ප්‍රදේශවල අවම වශයෙන් ලියාපදිංචි තේ කර්මාන්තශාලා 18ක් ඇත.

අක්කර 114,200කට වැඩි ප්‍රමාණයක තේ වගා කර ඇති අතර එය තේ වගා කරන විශාලතම භූමි ප්‍රමාණයයි.

ජාතික ජන බලවේග රජය තේ වතු හිමියන්ට මාසික වැටුප වැඩි කිරීමට බල කර ඇති අතර, ප්‍රජාව සඳහා ජලය සහ විදුලිය සහිත නිවාස ඉදිකිරීම වේගවත් කර තිබේ.

ඒ සඳහා බොහෝ දුරට ඉන්දියාවෙන් අරමුදල් සපයනු ලැබේ.

බලධාරීන්ට අනුව, මලෙයියහ ජනගහනය පහත වැටීමට හේතු වූ සාධක සංගණනය මගින් පැහැදිලි කර නැත.

ඇතැමුන්ගේ අදහස වූයේ බොහෝ දෙනෙක් ශ්‍රී ලාංකිකයන් ලෙස හෝ ‘ශ්‍රී ලාංකික දෙමළ’ ලෙස හැඳින්වීම තෝරාගෙන ඇති බවයි.

සමහරු සංක්‍රමණය වී ඇති අතර අනෙක් අය ප්‍රධාන වශයෙන් බටහිර ආසියාවේ සේවය කරති.

2022 සිට වෙනම දත්තවලින් පෙනී යන්නේ නුවරඑළියේ ලියාපදිංචි ඡන්දදායකයන් 588,850ක් සිටි බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එනම් 336,702ක් නුවරඑළිය – මස්කෙළිය ප්‍රදේශයේ සිටි බවත්ය.

මේ අතර, මුස්ලිම් සහ / හෝ මුවර් ජනගහනය මිලියන 1.892 සිට මිලියන 2.283 දක්වා ඉහළ ගොස් ඇති බව සංගණනයෙන් වාර්තා වී ඇති අතර ඔවුන්ගේ වර්ධන වේගය 1.5%කි.

2012 සංගණනයේදී වාර්තා වූ 9.3%ට සාපේක්ෂව ඔවුන් දැන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 10.5%කි.

වර්ධන වේගය, සංගණන වාර්තාවේ සඳහන් වන්නේ, “රටේ මුළු ජනගහනයේ වර්ධන වේගය මෙන් තුන් ගුණයකි” යනුවෙනි.

සිංහල ජනගහනයේ වාර්ෂික වර්ධන වේගය 0.4%කි.

මලෙයියහ ජනගහනයෙන් අඩක් නුවරඑළියෙන් වාර්තා වන අතර, ඊළඟ ඉහළම සංඛ්‍යාව හෙවත් 11% බදුල්ලෙන් වාර්තා වේ.

මහනුවර ද 2.6%ක් පමණ සිටිති.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල 2.5%ක් පමණ සිටින බව දත්ත පෙන්නුම් කරයි.

මාතලේ හි 1.5%ක් සහ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් 1%ට වඩා අඩු ප්‍රමාණයක් වාර්තා වේ.

ශ්‍රී ලංකා දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත් කල, 70%ක් උතුරු පළාතේ සංකේන්ද්‍රණය වී ඇත.

බොහෝ දෙනෙක් යාපනය, කිලිනොච්චි දිස්ත්‍රික්කවල සිටින අතර නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙන්ම ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල විශාල සාන්ද්‍රණයක් පවතී.

උතුරු සහ නැගෙනහිර පළාත් හැරුණු විට, ශ්‍රී ලංකා දෙමළ ජනතාවගෙන් ඉහළම ප්‍රතිශතය හෙවත් 10.3%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

සංගණනයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම්/මුවර් ප්‍රතිශතයේ ඉහළම වැඩිවීම උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ බවයි.

මන්නාරමේ මුස්ලිම් ජනගහනය 2012 දී 16.5% සිට 2024 දී 26.5% දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම්/මුවර් ප්‍රතිශතය දිස්ත්‍රික්ක 25 තුළම ඉහළ ගොස් ඇති බව සංගණනයේ සඳහන් වේ.