August 8, 2025

ගුවන් තොටුපළේදී ලුහුබැඳීම සහ බාධා එල්ලකිරීම සම්බන්ධයෙන් 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් ඉන්දියාවේ හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආගමන කාර්යාංශයේ නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇත.

Times of India වාර්තා කර ඇති පරිදි පැමිණිලිකාරිය චෝදනා කර ඇත්තේ, ඉකුත් ඉරිදා පස්වරුවේ තමා සමග පැමිණෙන ලෙස සැකකරු බලපෑම් එල්ල කළ බවයි.

පොලිසිය පවසන පරිදි චතිස්ගාර් හි පිහිටි ආයතනයක සංගීත උපාධියක් හදාරමින් සිටින 24 හැවිරිදි මෙම තරුණිය අගෝස්තු 3 වැනි දින සවස 5 ට පමණ IndiGo 6E-1182 දරන ගුවන් යානයෙන් කොළඹ සිට ඉන්දියාවට පැමිණ තිබේ.

ඇගේ ඊළඟ ගුවන් යානය රායිපූර් බලා පිටත්ව යෑමට තිබූ බවත්, එම ගුවන් යානය සඳහා පැය 16 ක කාලයක් තිබූ බැවින් සිය ගමන් මලු රැගෙන, ආගමන ලිපිවල සිය විස්තර ඇතුළත් කර ආගමන කවුන්ටරයේ නිලධාරියාට එය භාරදුන් බව තරුණිය පොලිසියට පවසා ඇත.

එම අවස්ථාවේදී සැකකාර නිලධාරියා අදාළ තරුණියගෙන් ගුවන් තොටුපොළේ තනිවම සිටීදැයි විමසා ඔහුගේ දුරකතන අංකය ඇයට ලබා දී ඇතැයි පැවසේ.

අනතුරුව එදින පස්වරුවේ සිසුවිය ගුවන් තොටුපොළේ රැඳී සිටින විට ආගමන විගමන නිලධාරියා ඇය අමතා රථගාලට පැමිණෙන ලෙස දන්වා ඇත.

“ඔහු මට නගරය පෙන්වන බවත් මගේ බෑග් ඔහුගේ කාර්යාලයේ තැබිය හැකි බවත් ඔහු දිගින් දිගටම පැවසුවා. ඔහු මාව රාත්‍රී ආහාරය සඳහා පිටතට ගෙන යන බව පැවසුවා. මම ඒවා ප්‍රතික්ෂේප කළ විට, ඔහු දිගටම කතාකර මට විවේක ගත හැකි කාමරයකට යා හැකි යැයි යෝජනා කළා,” යනුවෙන් පැමිණිලිකාරිය පොලිසියට පවසා තිබේ.

සැකකාර නිලධාරියාගේ බලපෑම් හමුවේ සිත්තැවුලට පත් සිසුවිය ඒ පිළිබඳ සිය මිතුරෙකුට දැනුම් දී ඇති අතර, ඔහු ඇයට ගුවන් තොටුපොළ පොලිසියට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

අනතුරුව ඇය ඒ සම්බන්ධයෙන් සඳුදා අලුයම රජිව් ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

විත්තිකරුගේ ජංගම දුරකථන අංකය අනුව ඔහු ගුවන් තොටුපොළේ සේවය කරන ආගමන විගමන කාර්යාංශයේ සේවකයකු බව හඳුනාගෙන තිබේ.