
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, එම නඩුව අද කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.
එහිදී විනිසුරුවරයා පවසා ඇත්තේ මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු දෙදෙනෙකුගේ තනතුරු පුරප්පාඩු වී තිබෙන බවයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ බවයි.
ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම දැනුම්දීම සටහන් කරගත් විනිසුරුවරයා නියම කළේ එම නඩුව යළි ඔක්තෝම්බර් මස 23 වනදා කැඳවන ලෙසයි.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
මීට පෙර මෙම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබූ නමුත් පසුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.
එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල ගනු ලැබූ තීරණය නිවැරදි නොවන බව තීන්දු කරන ලදී.
ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තිවාචකය කැඳවා අලුතින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කර ඇත.
ඒ අනුව නඩුව යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart